.
“” ඒහිපස්සිකෝ “” ලෙස නම් කර ඇති “ලෝක සාමය සඳහා ඇවිදිමු ” ( A Global Walk for Peace ) යන අරමුණ පෙරදැරි කර ගනිමින් හෙට දින සිට , මෙරටදී පවත්වන්නට යෙදෙන සාමය සඳහා වූ පා ගමනට සහභාගි වීම සඳහා ඇමරිකාවේ සිට වියට්නාම් ජාතික ගරුතර පංඤ්ඤාකර ස්වාමින් වහන්සේ සහ ගරුතර රතනගුණ ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් පෙරටු කර ගනිමින් එම සාම පා ගමනට සහභාගි වීම සඳහා තවත් ගිහි පිරිසක් අද දින (21/04/2026) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණියාහ.
එලෙසම මෙම ස්වාමීන් වහන්සේලා පිරිස සමඟ මේ දිනවල ලෝකයේම අවධානයට පාත්‍ර වූ අප අසල්වැසි ඉන්දියාවේ විසු ” ආලෝකා ” නමැති සුනඛයාද මෙරටට පැමිණියේය.
මෙම පිරිස තුර්කියේ, ඉස්තානාබුල් හී සිට මෙරටට පැමිණියහ.
මේ පිරිස පිළිගැනීම සඳහා ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමාර මහතා ඇතුළු තවත් රාජ්‍ය නිලධාරින් පිරිසක් කටුනායක ගුවන්තොටුපළේ
” විශේෂ අමුත්තන්ගේ මැදිරිය” වෙත පැමිණ සිටිනු දක්නට ලැබිණි..
මෙහිදී මේ දිනවල ලොව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ “ආලෝකා ” නමැති සුනඛයා ද මෙම ගුවන් යානයෙහි අනෙකුත් ගුවන් මගින් සමග මගී අසනයක , අසුන්ගෙන පැමිණ තිබිණි, ඉන්පසුව ආලෝකා නැමැති මෙම සුනඛයාවද ගුවන්තොටුපළේ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවාගෙන පැමිණි අතර එහිදී එම සුනඛයාට ආහාර සඳහා ගුවන්තොටුපළේ සත්ව නිරෝධායන ආයතනයේ වෛද්‍යවරුන් පිරිසක් විසින් විශේෂ පාන වර්ග කිහිපයක් ලබාදීමට කටයුතු කර තිබිණි. ඉන් පසුව එම වෛද්‍යවරුන් පිරිස විසින් ආලෝකාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක් කර ඇති අතර, රුධිර සාම්පල කීහිපයක් ද එහිදී ලබාගෙන ,නීත්‍යානුකූලව මෙරටට පැමිණීම සඳහා වූ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකර, ඒවායේ වෛද්‍ය වාර්තා ද ඉතාම කඩිනමින්, ආලෝකාව කැටුව ආ ගරුතර පංඤ්ඤාකර හිමියන් වෙත භාරදීම සිදු කෙරිණි.
වෙනත් රටවල දී නම් මෙවැනි වෛද්‍ය පරීක්ෂා කිරීම් , ආලෝකා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවද මෙරට වෛද්‍යවරුන්ගේ කාරුණිකභාවය සහ ඉහළ ආගන්තුක සත්කාර නිසාවෙන් ආලෝකා නමැති මෙම සුනඛයා සතුටට පත් කර තිබිණි.මෙම පරීක්ෂණ සිදු කරන අවස්ථාවේදී ආලෝකාගේ භාරකාරත්වය දරන වියට්නාම් ජාතික පංඤ්ඤාකර හිමියන්ද , ආලෝකා සමඟින් සිටීමට කටයුතු කිරීම මෙහිදී දක්නට ලැබුණු විශේෂත්වයක් විය.
කෙසේ වෙතත් ආලෝකා වෙනුවෙන් විශේෂ ගිලන් රථයක් සූදානම් කර තිබූ අතර ආලෝකා එහි ගමන් නොකර ගරුතර පංඤ්ඤාකර හිමියන් සහ අනෙකුත් භික්ෂූන් වහන්සේලා ගමන් ගන්නා බස් රථය වෙත ගොඩවන ආකාරය දැක ගැනීමට හැකි විය.
ඒ අනුව එම බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිස කටුනායක ගුවන්තොටුපළ සිට විශේෂ රිය පෙරහැරකින් අත්තනගල්ල රජමහා විහාරස්ථානය වෙත කැඳවාගෙන යන ආකාරය දක්නට ලැබිණි..
” ඒහිපස්සිකෝ ” යනුවෙන් නම් කර ඇති මෙම
“” ලෝක සාමය සඳහා ඇවිදිමු “” (A Global Walk for Peace ) සාම පා ගමන හෙට සිට එළඹෙන 28 වෙනිදා දක්වා (22-28/04/2026) මෙරටදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇත.
ඡායාරූප.-.
ටී.කේ.ජී. කපිල
(( කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිට ))

















