මිගමුව නගරයට ගැලපෙන රථවාහන සැලැස්මක් හදමු.

0
384

 

ඇෆලෝ කලර් ලැබ් හි අධිපති මොහාන් මහතා, කවදත් නගරය ගැන අලුත් විදියට හිතපු මිගමු ව්‍යාපාරික ප්‍රජාවේ ප්‍රධානියෙක්.  

කලක් මීගමුව තුල අතිසාර්ථකව ක්‍රියාත්මක වු One way රථ වාහන සැලැස්ම සාර්ථ කරගැනිමට ප්‍රබල දායකත්වයක් දුන් අයෙක්.

ව්‍යාපාරික ප්‍රජාව යළිත් වරක් ඉල්ලා සිටින්නේ මිගමුව නගරයට One way රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරන්නට යැයි කියාය.

පහත පළවන්නේ  මිපුර වෙබ්අඩවිය ඔහු සමගින් කළ සංවාදයක කෙටි සටහනකි.

එළඹී තිබෙන්නේ උත්සව සමයයි. මීගමුව පුරවරය කියලා කියන්නෙම ශ්‍රී ලංකාවේ කතෝලික ජන ඝනත්වය වැඩිම ප්‍රදේශයක් නිසා, එළඹෙන කාල සීමාව, තුළ මීගමුව ප්‍රදේශයේ කතෝලික ජනතාව නත්තල් හා අලුත් අවුරුද්ද මහත් හරසරින් සැමරීමට සූදානම් වෙනවා. මේ නිසාම මීගමු නගරය මේ වන විට සූදානම් වෙන ආකාරය අපට දැකගන්න පුළුවන්.

විවිධ පාරවල්වල තාවකාලිකව ඉදි කරන කඩ සාප්පු පවා මේ වන විට ඉදිකිරීමට සූදානම් කරලා තිබෙන ආකාරය දැක ගන්න පුළුවන්.

මීගමුවේ එදා ඉදලම තියෙන ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි මීගමුව නගරය හරිම අපිලිවෙලයි.

මේ දෙය කනගාටුවෙන් වුණත් කියන්න සිදුවෙනවා ඒ කියන්නේ කිසිම පිළිවෙලක් නැති නගරයක් මේක. ඉතින් මේ නගරයට යන එන වාහන සම්බන්ධව නිරන්තරයෙන් හුඟක් අය විවිධාකාරයෙන් කතාබහ කරනවා.

නමුත් මීගමු නගරයට යන එන වාහන සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නිසි වැඩපිළිවෙලක් නැති බව පෙනී යනවා. ඉතින් අපි දන්නේ නැහැ මේ සම්බන්ධව නිසි ලෙස කටයුතු කරන්න කාටද බලතල තියෙන්නේ කියලා. නගර සභාවටද එහෙම නැත්නම් රථවාහන පොලිසියටද කියලා.

කොහොම වෙතත් මීගමු නගරයේ පාරවල් රජයේ ආයතන කිහිපයකට අයිතියි. ඒ කියන්නේ සමහර පාරවල් තියෙනවා, ආර්.ඩී ඒ. ( R.D.A.) එකට අයිති, ඒ කියන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට. තවත් පාරවල් කීහිපයක් තියෙනවා, ඒවා අයිති පී. ආර්. ඩී. ඒ. ( P.R.D.A.) එකට , ඒ කියන්නේ පලාත් බද මාර්ග සංවර්ධන අධිකාරියට. තවත් පාරවල් ගණනාවක් තියෙනවා, විශේෂයෙන්ම අතුරු පාරවල් අයිති වන්නේ මීගමුව මහා නගර සභාවට. ඉතින් අපි යෝජනා කෙරුවා, විශේෂයෙන්ම වර්තමාන නගරාධිපතිතුමාටත් ඒ වගේම අලුතින් පත්ව ආ මීගමු රථවාහන පොලිසියේ ස්ථානාධිපතිතුමාටත් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව හැටියට, මේ , ආර්.ඩී ඒ. එකට පී.ආර්.ඩී.ඒ. එකට සහ මහා නගර සභාවට අයත් මේ සියලු පාරවල් වලට ගැලපෙන රථවාහන සැලැස්මක් සහිත හොඳ වැඩපිළිවෙලක් සැලසුම් කරගත යුතුයි කියලා. ඉතින් අපිට එහෙම එකක් හදලා දෙනවා කියලා දැන් සෑහෙන කාලයක ඉඳලා කියල තිබුණත් , තවම එහෙම මේ නගරයට ගැලපෙන රථ වාහන සැලැස්මක් අපිට කවුරුවත් නිර්මාණය කරලා දුන්නේ නැහැ.

දැන් තව දෙයක් තමයි, මේ මීගමුව නගරයේ තියෙනවා වෙළඳ සංගම් 03 ක්. ඒ කියන්නේ එකක් තියෙනවා මහා වෙළඳ සංගමය, දිනපතා පොළ කරන ව්‍යාපාරිකයන්ගේ වෙළඳ සංගමයක් තියෙනවා, තව තියෙනවා, මීගමුව සාප්පු සංකීර්ණය් වෙළඳුන්ගේ වෙළඳ සංගමය තියෙනවා. එහෙම ගත්තහම වෙළඳ සංගම් 03 ක් තියෙනවා. එතකොට මේ වෙළඳ සංගම් මේ වගේ උත්සව කාලෙක නගරයට සරිලන රථ වාහන වැඩපිළිවෙලක් සැකසීමේදී මේ වෙළඳ සංගම් පොදු එකඟතාවයකට එන්නේ නැති තත්වයක් අපි දකිනවා.

ඒ වගේ අවස්ථාවක මේ වෙළඳ ව්‍යාපාරිකයන් පොදු මතයකට වඩා පෞද්ගලික ව්‍යාපාරික අභිමාතාර්ථ සහ පෞද්ගලික ව්‍යාපාරික උවමනාවන් තමයි ඉදිරියට ගෙන එන්නේ.

උදාහරණයක් හැටියට කිව්වොත් අපි යම් තැනක රථ වාහන නවතා තැබීම සඳහා රථගාලක් යෝජනා කෙරුවොත්, ඒකට බොහෝ අය අකමැති වෙනවා. ඒ වගේම සමහර අය ඉල්ලා සිටිනවා පාර දෙපැත්තෙම රථවාහන නතර කරන්න දෙන්න කියලා. නමුත් පාර දෙපැත්තේම වාහන නතර කරපුවහම බඩුමුට්ටු ගන්න නගරයට එන මිනිස්සුන්ට පයින් ඇවිදගෙන යන්න විශාල බාධාවක් වෙනවා. ඒ වගේම ඒ පාරවල් වලින් වාහන ධාවනය කරද්දීත් විශාල බාධාවන් සහ අපහසුතාවයන් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා, ඒ වගේම පාරවල් වල විශාල වාහන තදබදයක් ඇතිවෙනවා .පාර දෙපැත්තේ වාහන නතර කරලා තියන්න පුළුවන් ඒ පාරවල් වල වාහන ධාවනය කිරීම “ඒක මාර්ගික” ක්‍රමයකට ඒ කියන්නේ ” වන් වේ ” (one way) ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා නම්.

මේ ක්‍රමය එකපාරක් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව හැටියට අපි ඉල්ලපුවහම, මේ ක්‍රමය ක්‍රියාත්මක කෙරුවා. ඒ කියන්නේ මීගමුවේ ග්‍රීන්ස් පාරයි, කෘෘස් පාරයි. ඉතින් මේ වන් වේ ක්‍රමය ක්‍රියාත්මක කරලා දවසක්වත් ගියේ නෑ ඔන්න මට දුරකථන ඇමතුම් එනවා, පොලිසියට දන්වලා මේ වන් වේ ක්‍රමය අහෝසි කරලා දෙන්න කියලා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්‍රමය අහෝසි කරලා දෙන්න කියලා කියන්නෙත්, ඊට කලින් දවසේ, මේ වන් වේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න කියලා අපිත් එක්ක එකට ඉදගෙන යෝජනා කරපු අපේ සංගම්වල ව්‍යාපාරිකයෝම තමයි. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නය.මොකද වන් වේ ක්‍රමය ක්‍රියාත්මක වෙද්දි එයාලාගේ ව්‍යාපාරික ස්ථානයට පාරිභෝගිකයො එන්නේ නැහැලු
ඉතින් ව්‍යාපාරිකයන්ගේ පවුලේ අය එහෙම ඇවිල්ලා කියපුවහම, මේ යෝජනාවට කැමැත්ත දීපු ව්‍යාපාරිකයෝම, ඒ ක්‍රමය අහෝසි කරන්න ඉල්ලීම් කරනවා ,ඒ සඳහා බල කරනවා. මම නම් කියන්නේ තමන්ගේ ව්‍යාපාර හරියට විශ්වාසවන්තව සාධාරණ විදිහට කරනවා නම්, ඒ වෙළඳ ව්‍යාපාර කොහේ තිබුණත්, කොහේ කලත්, පාරිභෝගිකයෝ ඒ වෙළඳ ව්‍යාපාරික ස්ථාන සහ ඒ ව්‍යාපාරිකයන්ව හොයාගෙන යනවා. ඉතින් තමන්ගේ වෙළඳ ව්‍යාපාර දියුණු කරගන්න එක ව්‍යාපාරිකයන්ගේ අතේ තියෙන වැඩක්.

වාහන නවතා තැබීමට ඒ කියන්නේ පා(ර්)කින් අවශ්‍ය නම් වන් වේ තමයි හරි යන්නේ. එතනදි පුළුවන් පොල් අත්තේ හැඩයට ඉරි ගහලා , ඒ පැත්තෙන් එන වාහන පිළිවෙලට නවත්වන්න පුළුවන්. එතකොට අනිත් පැත්තෙන් එන වාහන නවත්වන්න විදිහක් නෑහැ. මොකද එහා පැත්තේ වාහන නවත්වලා තියෙන්නේ දෙපැත්තට පොල් අත්තේ හැඩයටනේ. එතකොට වාහනයකට යන්න වුනාහම පිටිපස්සට ගත්තා, ඒ වාහනේ පිටත් වෙනවා. ඉතින් අපි යෝජනා කරන්නේ ග්‍රීන්ස් පාරයි, කෲස් පාරයි වන් වේ වුනා නම් එක පාරක නවත්තලා තියලා, අනිත් පාරෙන් යන්න පුළුවන්.

අනික සමහර අය ඉල්ලා සිටිනවා, එක පැත්තක යතුරුපැදී ඒ කියන්නේ මෝටර් සයිකල් නවත්වන්න ඉඩ දෙන්න. අනික් පැත්තේ වාහන නවත්තන්න ඉඩදෙන්න කියලා. අනිත් එක තමයි මේ වාහන නවතා තැබීමේ කාරණාවේදී මිනිසුන්ගේ කිසිම චාරයක් නෑහැ. මොකද වාහනයක් අතට ගත්තහම මිනිස්සු හරිම අහංකාරයි, ආඩම්බරයි. ආයේ තවත් කෙනෙකුගේ වාහනයක් නතර කරන්නේ කොහොමද නතර කරපු වාහනය ආපහු ගන්නේ කොහොමද කියන එක ගැන සුළුවෙන් හෝ හිතන්නෙවත්, ඒ ගැන තැකීමක්වත් කරන්නේ නැහැ. තවත් වාහනයකට ඉඩක් තියලා, එහෙම වෙනත් අය ගැන හිතලා මතලා කටයුතු කරනවා බොහොම අඩුයි. ඔහේ වාහනේ නවත්වලා යනවා .දිගට හරහට ඔය කොයි අතට හරි කමක් නෑ ඔහේ කිසිම පිළිවෙලක් නැතිව නතර කරලා යනවා. ඉතිං එහෙම එක එක පැති පැති වලට වාහන නතර කරන්නේ නැතුව පොල් අත්තේ හැඩයට නතර කෙරුවොත් තමයි ,ඉඩ තියෙන්නේ තවත් වාහන වලට නතර කරලා යන්න.
එතකොට සමහර අය යෝජනා කළා එක දවසකට, මෝටර් සයිකල් නතර කරන්න දෙන්න, අනික් පැත්තට වාහන නතර කරන්න දෙන්න කියලා. ඉතින් අපි එහෙමත් රථවාහන පොලිසියේ ස්ථානාධිපතිතුමාට යෝජනා ඉදිරිපත් කෙරුවා. ඉතින් ඒ ක්‍රමයවත් තවම ක්‍රියාත්මක කරගන්න බැරුව ගියා.
එතන තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික ස්ථානවල බෝර්ඩ් ඒ කියන්නේ දැන්වීම් පුවරු මේ පාරවල් වල තමයි බොහෝමයක් තියලා තියෙන්නේ .

ඒ වගේම මේ පේමන්ට් එකට ඒ කියන්නේ පදික වේදිකාවට මේ බෝර්ඩ් ගෙනල්ලා තියලා තියෙනවා. මේ බෝර්ඩ් පාරෙන් සහ පදික වේදිකාවලින් ඉවත් කරලා දෙන්න ඕනේ, මහා නගර සභාවෙන්. ඉතින් මේවා අපි කියන්න ගියහම ව්‍යාපාරිකයෝ අපිත් එක්ක තමයි විරුද්ධ වෙලා තරහ වෙන්නේ. එතනදි ඒ අය කියන්නේ ව්‍යාපාරික සංගම් ඉන්න ඕනේ ව්‍යාපාරිකයන්ගේ පැත්තට, එහෙම නැත්නම් ව්‍යාපාරිකයන්ගේ උදව්වට කියලා. නමුත් අපි ව්‍යාපාරිකයෝ වුනහම අපි ශීලාචාර වෙන්න ඕනේ, විනයගරුක වෙන්න ඕනේ. මොකද අපි ව්‍යාපාරයක් කරනවා කියලා ඔක්කොම අල්ලගෙන ,පාරත් අල්ලගන්න කියලා , එහෙම අපට අයිතියක් නැහැ. පොදු ජනතාවට මේකේ විශාල අයිතියක් තියෙනවා. ජනතාවට තමයි පාර අයිති. ඉතින් මෙතන විශාල ප්‍රශ්නයක් වෙන්නේ මේ ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් පාරත් අල්ලගන්නවා, කානුවත් අල්ල ගන්නවා, පදික වේදිකාව ඒ කියන්නේ පේමන්ට් එකක් අල්ල ගන්නවා, එහෙම කරලා තමන්ගේ වෙළඳ ව්‍යාපාරය හරියට කරගන්න බැරුව ගියහාම ඒ දෝෂාරෝපණය කරන්නෙත් වෙළඳ සංගම් වලටමයි. ඉතිං මේකට බලධාරීන් තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපිට පුළුවන් එක එක මත ඉදිරිපත් කරන්න. හැබැයි ඉතින් ව්‍යාපාරිකයෝ 100 ක් ගත්තොත් 25 ක් විරුද්ධ වෙයි . 75 ක් කැමති වෙයි. ඉතින් බහුතර මතයට තමයි කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ වගේ කරුණාවලදී දැඩි තීන්දු තීරණ ගන්න සිදුවෙයි. මම හිතන්නේ ඒ සඳහා ඉන්න නිසි බලධාරියෝ ඒ සඳහා කටයුතු කළ යුතුයි.

අනිත් කාරණාව තමයි මට මෙතනදි කියන්න ඕනේ, අපේ ව්‍යාපාරික ප්‍රජාවට, තමන් කරන ව්‍යාපාරය හරියට කරනවා නම් සාධාරණව කරනවා නම්, ඒ වගේම තමන්ගේ ව්‍යාපාරය යම් ආකාරයක මහජන සන්නිවේදන ප්‍රචාරණ ක්‍රම භාවිතා කරලා කිරීමට විශාල පහසුකම් සහ හැකියාව මේ වෙද්දි තියෙනවා, ඉතින් එවැනි ක්‍රම භාවිතා කරලා, ජනතාවට හොඳ සේවාවක් සලසනවා නම්, ඒ වෙළෙඳ ව්‍යාපාර ඉක්මනින් දියුණු වෙනවා වගේම, ඒ පාරිභෝගින ජනතාව ඒ වෙළෙඳ ව්‍යාපාර කොහේ තිබුණත්, සොයාගෙන එනවා කියන එකත් මට මෙතනදි නැවත නැවතත් කියන්න වෙනවා.

ඒ වගේම අනෙකුත් විශේෂිතම කාරණය තමයි, මම යෝජනා කරනවා, නගරය තුළ වාහන නවතා තැබීමේදී, අනිවාර්යෙන්ම ගාස්තුවක් අය කිරීම සඳහා ප්‍රවේශපත්‍රයක් නිකුත් කළ යුතුමයි. නගර සභාව ඒ සඳහා කටයුතු කළ යුතුය. නගර සභාවට ආදායම් උපද්දවා ගන්න ක්‍රමයක් විදිහට, ඒ කටයුතුවලට හරියන නිලධාරීන්ව යොදවලා , අර ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට හරි පොල් අත්තේ හැඩයට හරි නවතා තබන වාහන සඳහා කාලය අනුව මුදල් අය කර ගත යුතුයි. ඒ කියන්නේ පළවෙනි පැය නවතා තබනවාට යම් මුදලක් අය කරලා, ඊට පස්සේ වැඩි වෙන හැම පැයකටම තවත් විශේෂිත අයකිරීමක් පැය ගණන අනුව අය කළ යුතුයි. මොකද එතකොට වාහන නවත්වලා යන අය තමන්ගේ වැඩේ ඉක්මනින්ම කරගෙන වාහන අරන් යන්න උත්සුක වෙන්නේ. එහෙම නොකෙරුවොත්. ඒ කියන්නේ නවතා තබන පැය ගණනට අය නොකෙරුවොත්, බොහෝ වෙලාවට වාහනය නවත්තලා ඒ අය කොළඹ පවා යයි. සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ඇවිල්ලා වාහනේ අරන් යයි. උදේ වාහනේ නතර කරලා ගියාම ආපහු වාහනේ අරන් යන්න එන්නේ හවස. ඒ නිසා වාහනේ නවතා තබා යන විට වෙලාව නිවැරදිව දාලා, ඒ වගේම වාහනේ අරන් යන වෙලාවත් නිවැරදිව දාලා, වාහනය නවතා තැබූ පැය ගණන නිවැරදිව සටහන් කරලා ඒ ටිකට් පත ඒ වාහන හිමියන්ට දෙන්න ඕනේ. ඒක ඩිජිටල් ක්‍රමයට හරි කමක් නෑහැ. ඒ වගේ අලුත් තාක්ෂණය යටතේ තියෙන කුමන හෝ ක්‍රමයකට අනිවාර්යෙන්ම පැය ගණන සඳහන් කර , නවතා තැබූ පැය ගණනට අදාළව ඒ ගාස්තුව අය කළ යුතුයි. ලෝකයේ කිසිම රටක ,නගරයක පා(ර්)කින් නිකන් ඒ කියන්නේ නොමිලේ දෙන්නේ නෑහැ. ඒ නවතා තබා යන ඉඩ ප්‍රමාණයට මුදලක් අය කර ගත යුතුයි. දැන් සිංගප්පූරුව වගේ රටක් ගත්තහම එහේ කොහේ පා(ර්)ක් කෙරුවත් ඒකට මුදලක් ගෙවන්න ඕනේ. සිංගප්පූරුවේ ඒ ප්‍රවේශපත් ස්වයංක්‍රීයව නිකුත් කරනවා. ඉතින් අපේ රටේ ඒ වගේ ක්‍රමයක් තවම ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා, ඒ සඳහා නගර සභාවෙන් නිසි නිලධාරීන් පිරිසක් යොදවලා ,ඒ කාර්යය සිදුකළ හැකියි. ඒකෙන් මහා නගර සභාවටත් සැලකිය යුතු ආදායමක් උපද්දවා ගත හැකියි.

මම මේ කතාවෙදි මුලිනුත් කිව්වා වගේ මේ වාහනයක් අතට ගත්තහම ,ඒ කියන්නේ මේ වාහනයක් පදවාගෙන යනකොට මිනිස්සු හරි ආඩම්බරෙන් යන්නේ, හරි උද්දච්චකමක් හිතේ මවාගෙන. අර පයින් ගමන් කරන මිනිස්සු ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ.

දැන් යුරෝපා රටවල්වල වගේම අරාබි රටවල් වල පවා, පයින් යන අයට විශාල නිදහසක් සහ ඉඩක් ලබාදීලා තියෙනවා. අනිත් එක පාරේ යන අනිත් වාහන හිමියෝ පයින් යන අයට විශාල ගරු කිරීමක් කරනවා. නමුත් අපේ රටේ එහෙම තත්වයක් අපි දකින්නේ නැහැ. විශේෂයෙන්ම මීගමු නගරයේ අපි එහෙම දෙයක් දකින්නේ නැහැ. පාරේ පයින් යන මිනිහව, පාපැදීයේ යන මිනිහාව ඉස්සර කරගෙන ගිහිල්ලා, ඒ මිනිහව හප්පලා හරි කමක් නෑහැ, තමන් තමන්ගේ වාහනේ පදවගෙන ඉක්මනට යන්න තමයි බලන්නේ. අපි කොච්චර ලොකුවට අධ්‍යාපනය ලැබුවත්, කොච්චර ලොකු සුපිරි පාසල් වලට ගියත්, අපි කොච්චර පල්ලි පන්සල් වලට ගියත්, අපි මේ විනය කියන දේ ඉගෙනගෙන නැහැ. අද ජීවත් වෙන මිනිස්සුන්ට තියෙන්නේ පුදුමාකාර හදිස්සියක්. මම ඒක මේ මීගමුව නගරය තුළත් නිරන්තරයෙන්ම දකින දෙයක්. විශේෂයෙන්ම ත්‍රීරෝද රථ හිමියන් සහ මෝටර් සයිකල් හිමියන් පාරේ වෙනත් වාහන වලට ඉස්සර කිරීමේදී දකුණෙන් නෙමෙයි වැඩිපුරම ඉස්සර කරන්නේ.ඔවුන් වම් පැත්තෙන් තමයි වැඩිපුරම ඉස්සර කරන්නේ. ඉතින් අනතුරු සිදුවෙනවා වැඩියි. ඒ අයගේ කිසිම විනයානුකූල භාවයක් නෑහැ. හදිස්සිය තමයි මූලික අවශ්‍යතාවය බවට පත්වෙලා තියෙන්නේ. තව කෙනෙකුට ඉඩක් දීලා, සුපරික්ෂාකාරීව ඉවසිලිවන්තව තමන්ගේ වාහනේ හරි යතුරුපැදිය හරි පදවාගෙන යන සිරිතක් විනයක් බොහෝ දෙනෙකු තුළ නැහැ. මෙවැනි තත්ත්වයක් තමයි අද අපේ රටේ මාර්ග අනතුරු වැඩි වෙන්න හේතු වෙලා තියෙන්නේත් ,කියලයි මට නම් හිතෙන්නේ.

අනිත් ප්‍රශ්නය තමයි මීගමු නගරය තුළ වාහන නවතා තබා යන්න පුළුවන් ස්ථිර රථගාල් ස්ථාපිත කරන්න ඉඩම් කොටස් ඒ කියන්නේ පා(ර්)කින් ප්ලෙසස් වලට අවශ්‍ය ඉඩම් කොටස් දැන් නැහැ.නගරයේ තිබුණු ඒ වගේ ඉඩම් කොටස් පහුගිය කාලේ හිටපු දේශපාලඥයෝ තමන්ගේ හිතවතුන්ට විවිධ විවිධ ක්‍රම වලට දිලා, කඩවල් ගහගෙන පාරවල් අවහිර කරගෙන අද නගරයටම විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට නගර සභාව විසින් නත්තල් අලුත් අවුරුදු කාලසීමාවේදී තාවකාලික රථගාල් කිහිපයක් නගරය තුළ ඇති කරන්නත් ඉඩ තියෙනවා. කොහොම වුනත් හුඟක් අපේ මිනිස්සු කැමති නැහැ, ඒ වගේ රථ ගාලක වාහනේ නවත්තලා තියලා, කඩ සාප්පුවලට පයින් ගිහිල්ලා බඩුමුට්ටු අරගෙන එන්න. බොහෝ අය බලාපොරොත්තු වෙන්නේ තමන් යන වාහනය, තමන් යන කඩ සාප්පු අසලම තමන්ට පේන මානයේම නතර කරලා තියාගන්න තමයි බොහෝ අය බලාපොරොත්තු වෙන්නේ.

අනිත් පැත්තෙන් ගත්තහම මීගමුව නගරයේ පයින් ඇවිදගෙන යන අයට අද කිසිම නිදහසක් නැහැ, මේ නගරය තුළ. අර මං කලින් කිව්ව වගේ පදික වේදිකාවල තමයි කඩ සාප්පුවල දැන්වීම් පුවරු කියලා තියෙන්නේ. පදික වේදිකාවත් එක්කම තියෙන කාණු පද්ධතියේ කාණු ආවරණයට දාලා තියෙන කොන්ක්‍රීට් ආවරණ කැඩිලා,මේ වගේ ප්‍රායෝගික ගැටලු නිසා නගරයේ පයින් ඇවිදින ජනතාවට පයින් යෑමේ නිදහස ඇහිරිලා තියෙනවා. පාරෙන් එහා පැත්තට මෙහා පැත්තට මාරු වෙන්න තියෙන සුදු ඉරි යෙදූ ” සීබ්‍රා ක්‍රොසින්ස් ” ( zeebra crossing ) මීගමුව නගරයේ බොහෝ පාරවල්වල අපි දකින්නේ නැහැ.

ඒ වගේමයි සමහර මිනිස්සු එහෙම පාර මාරු වෙන්න නිසි තැන් තිබුනත් , ඒවා භාවිතා නොකර හිතු හිතු ආකාරයට පාරවල් වලින් මාරු වෙන්න ගිහින්, සමහර වෙලාවට අනතුරු පවා සිදුකර ගන්නා ආකාරය අපි දැකලා තියෙනවා. ඒ නිසයි මම කියන්නේ වාහන පදවන අයත්, පයින් නගරයට යන එන ජනතාවත් විනයානුකූලව කටයුතු කළ යුතුයි කියලා.

අවසානයේදීත් මම යෝජනා කරන්නේ එළඹෙන උත්සව සමයට මීගමුව නගරය තුළ ඇතිවන තදබදය නැති කිරීමට හෝ අවම කිරීමට අවශ්‍ය නම් ” වන් වේ ” ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව ගරු නගරාධිපතිතුමාගේ මැදිහත්භාවය මත මීගමුව මහා නගර සභාව සහ මීගමුව රථවාහන පොලිසියේ ස්ථානාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ඒකාබද්ධව හෝ යම් විධිමත් වැඩපිළිවෙලක් සැලසුම් කරයි කියලා. එහෙම ඉදිරිපත් කරන සැලසුම් සහගත වැඩපිළිවෙලකට නගරයේ ව්‍යාපාරික ප්‍රජාව හැටියට අපි සහ නගරයට යන එන පොදු ජනතාවත් එම වැඩපිළිවෙලට අනුගතව කටයුතු කළ යුතුයි. එය අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුතු දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ .

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here