හොරගල් අහුලන රාජ්‍ය නොවන සංවිධාන ජාලය දැරියගේ සිදුවීමේදී ඔද්දල්ව සිටින දේශපාලන අධිකාරිය ද අභිබවන නිහඬතාවයක ගිලී ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය (IRES) චෝදනා කරයි.
ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධනය මෙන්ම ආරක්‍ෂාව උදෙසා පිහිටුවා ඇති රාජ්‍ය නොවන සංවිධාන සංඛ්‍යාව සුළුපටු නැති නමුත් මෙම නිහැඬියාව පුදුමසහගත යැයි අයිරෙස් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසයි.
එකී ප්‍රතිපදාව ඔවුන් වෙත මුල්‍යාධාර සැපයීම සඳහා වෙහෙසෙන විදෙස්ගත රාජ්‍යයන්හි පුරවැසියන්ගේ සුපසන් මානව ප්‍රේමිත්වයටද නිගාවක් යැයි ඔහු කියයි.
තවද ළමා ආරක්ෂක අධිකාරිය එදා මෙදා තුර සිය සැබෑ බලය අභ්‍යාස කොට තිබුණේ නම් ලාංකික ප්‍රභූවරුන් හමුවේ සොයුරියන් හා දියණිවරුන් මෙසේ ලිංගික ගොදුරු බවට පත් නොවනු ඇතැයි ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් අයිරෙස් නිකුත් කළ විශේෂ නිවේදනයේ සඳහන්වේ.
(බිඟුන් මේනක ගමගේ )
එම නිවේදනය මෙසේය.
……………………………………………………………..
විශේෂ මාධ්‍ය නිවේදනය
වසර 2026 මැයි මස 17 වැනි ඉරු දින -කොළඹදී
අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේට එරෙහිව ඉතා බරපතල ළමා ලිංගික අපයෝජනයක් පිළිබඳ චෝදනාවක් එල්ලවී ඇත. එය අදවන විට රැළි සරැළි නංවමින් ගම්බිම් සිසාරා ගලන උදම් රළක් සේ සමස්ත ශ්‍රී ලාංකේය සමාජය ම ඉමහත් කම්පනයට පත්කොට ඇත්තේය. එක් පසෙකින් හේමරතන නාහිමිපාණන් වහන්සේ යනු අප සමාජයේ දුර්ලභව පහළ විය හැකි අසමාන නිර්මාණ භාවිතාවක් සහිත යතිවරයාණන් වහන්සේ නමකි. ඊට සමාන්තරව උන්වහන්සේ ශ්‍රී ලාංකේය සංස්කෘතියේ උත්තුංග අභිෂේකයට පත් සජීවී කාරකයක් සේ සැළකුම් ලබන ජයශ්‍රී මහා බෝ සමිඳුන් ප්‍රමුඛ සිද්ධස්ථාන අටක අදියුරුවානෝය. උන්වහන්සේ විසින් විරචිත ගීතාවලිය සිංහල ගීත ලැදි සුවහසක් ශ්‍රාවක සවන්පත් වරෙක අපමණ ශ්‍රද්ධා භක්තියෙන් පුරවාලන්නේය. තවත් වරෙක ආනන්දනීය ප්‍රඥාවක් වෙත කැන්දාලන්නේය. එබැවින් මෙකී චෝදනාව මඟින් අප සමාජය කැළඹීමට පත්ව ඇතැයි යනුවෙන් පැවසීම කිසිවිටෙකත් අතිශෝක්තිමය ප්‍රකාශයක් නොවනු ඇත්තේය. එනයින් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (IRES) මෙම සමස්ත සිදුවීම් දාමය පිළිබඳව තම අදහස මෙමඟින් ප්‍රකාශයට පත්කරනු ලබයි. මෙම සිදුවීම නිසැකවම සමාජ ක්‍රියාකාරී සාමාජික සංතතියේ නිබඳ අවධානයට ලක් විය යුතුමය. ඊට හේතුව නම් මෙමඟින් නිර්මාණය කොට ඇති සමාජ කථිකාව මෙරටේ අනාගත යහපාලන ප්‍රමුඛතා ස්පර්ශ කරනු ඇතැයි යන අචල විශ්වාසය අප සතු බැවිනි.
මෙම ලිංගික අපයෝජනය සිදුව ඇතැයි පැවසෙන කාල වකවානු පිළිබඳව නිශ්චිත අදහසක් සමාජයේ නැත. එහෙත් එක්වරක් හෝ දෙවරක් නොව අඛණ්ඩව යම් කාල සීමාවක් මෙකී නාහිමිපාණන් වහන්සේ අදාළ බාලිකාවිය අපයෝජනයට ලක්කොට ඇතැයි යන්න සමාජ මාධ්‍ය ඔස්සේ නිරාවරණය වේ. එහි වඩාත් ශෝචනීය කරුණ වන්නේ මෙම ලාබාළ දියණිය එලෙස අදාළ යතිවරයාණන් වහන්සේගේ ලිංගික සංතර්පණය සඳහා වරින්වර කැන්දාගෙන ගොස් භාර දී ඇත්තේ ඇයගේ ම ආදරණිය මව වීමයි. අප ජාත්‍යන්තර වශයෙන් ලෝක මව්වරුන්ගේ දිනය සමරන ලද්දේ පසුගිය 10 වැනිදාය. එදින මව්වරුන් සතු උපේක්‍ෂා සහගත වූ කරුණා ගුණය පිළිබඳ අප භක්ති පූර්වක අභිදානයෙන් සංවේදී වූවෝ වන්නෙමු. එවන් පසුබිමක මවක් මෙලෙස තම දියණිය පූජ්‍ය පාර්ශවයක් වෙත උගසට තබා ඇත්නම් එය කිසිදා සමාවක් ලද නොහැකි ගර්හිත ක්‍රියාවකි. මෙම ශෝචනීය සිදුවීම් දාමයේ වර්තමාන කතාව වන්නේ කොළඹ ජාතික රෝහලෙහි ගිලන්ව සිටින්නේ යැයි පැවසෙන නාහිමිපාණන් වහන්සේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැඩමවාලන ලෙස එහි මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කොට තිබීමයි. ඒ අතරතුර එළඹෙන 22 වැනිදා තෙක් එහිමියන් රක්‍ෂිත බන්ධනාගාරගත කොට ඇත්තේය. ඊට සමාන්තරව අදාළ මවගේ ඇප අයදුම්පත ප්‍රතික්‍ෂේප කිරීමටද එකී මහේස්ත්‍රාත්වරයා කටයුතු කොට ඇත.
බැලුබැල්මට යමෙකු සිතනු ඇත්තේ සියල්ල නිත්‍යානුකූල පරිසරයක් තුළ යථා පරිදි සිදුවන්නේය යන්නයි. එහෙත් අදාළ සිදුවීම පියවරෙන් පියවර විමසීමේදී පැහැදිළි වන්නේ මෙරටේ කලක් තිස්සේ පැළපදියම්ව ඇති ක්‍රම විරෝධී රාජ්‍යකරණයේ විෂම ක්‍රියාකාරිත්වය මගින් නීතියේ ආධිපත්‍යය දැඩිව අභියෝගයට ලක්කොට ඇත්තේය යන්නයි. අප ආයතනයක් ලෙස හා මෙරටේ සාමාන්‍ය පුරවැසි සමාජයේ සාමාජිකයන් ලෙස සැබවින්ම මෙකී ස්වාමිපාදයාණන් වහන්සේ තම කාමෝද්දීපනය සඳහා ළාබාල දැරියක් බිලිගෙන ඇතිදැයි නොදන්නෙමු. දන්නේ ආරංචි මාත්‍රයෙන් හා ප්‍රවෘත්තිමය ලෙස මෙන්ම සම්පප්‍රලාප ලෙස අප සවන් වැකි දේය. වර්තමාන ඩිජිටල්ගත මාධ්‍ය අවකාශය තුළ ඇත්ත නැත්ත සොයාගැනීමද සාතිශය දුෂ්කර කාර්යයකි. එහෙත් අප හොඳින්ම දන්නා කරුණ වන්නේ එකපැහැර නීතිය හමුවේ පෙනී නොසිටින නාහිමිපාණන් වහන්සේ, බලවත් සේ අපරාධ චර්යාවක් සහිත ගිහි භවතෙකු හෝ නොකරන තරමේ උපක්‍රමික චර්යාවක් මඟින් අධිකරණය හමුවේ පෙනී සිටීම මඟ හරිමින් සිටින්නේය යන්නයි. මෙලෙස පෙනී නොපෙනී සිටීමේ මායාකාරී උපක්‍රම සමාජය ඉමහත් උත්කර්ෂයට මෙන්ම වන්දනීයත්වයට බඳුන් කරන ලද යතිවරයෙකුට තරම් නොවේ. එබැවින් මෙම සිදුවීම අභියස නිරාවරණය වී ඇති නග්න යථාර්තය මෙලෙස සැකෙවින් දැක්විය හැකිය.
සමාජයේ ප්‍රභු තන්ත්‍රය තුළ පරිවාර සම්පත්තිය හා මහේශාඛ්‍ය බල පරාක්‍රමයක් හොබවන තැනැත්තන් අභිමුව නීතිය හා එය ක්‍රියාවට නැඟිය යුතු නිලදරුවන් ලදැල්ලක් සේ අතිශය ඕලාරික ලෙස හැසිරෙමින් සිටීම.
සියලු පුරවැසියන්ගේ ආදරණිය භාරකරුවා විය යුතු රාජ්‍යයය ඉතා මන්දගාමී හා කල්බලන ප්‍රවේශයක් වෙත සේන්දු වීම
සමාජ ක්‍රියාකාරීන්, රාජ්‍ය නොවන සංවිධාන හොබවන්නන්, ශාස්ත්‍රාලීය බුද්ධිමතුන්, විකල්ප මතධාරීන් හා ආගමික නායකයන් බහුතරයක්, හේමරතන නායක ස්වාමිපාදයාණන් වහන්සේ සතු ප්‍රභූ අධිකාරිමය බලය හමුවේ සිසිර නිද්‍රාවක පසුවීම
ළමා සහ කාන්තා අයිතීන් සුරැකීම උදෙසා අනලස් හා වෙසෙස් කාර්යයක් කළයුතුව ඇති ජාතික ළමා අරක්ෂක අධිකාරිය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය ප්‍රමුඛ ස්වාධීන අභිචෝදකයන්, මෙන්ම අනෙක් රාජ්‍යය හා සබැඳි ආයතන පද්ධතිය, නිර්ලජ්ජිත හා යළි කෙදිනක හෝ නිවැරදි කර ගත නොහෙන ආකාරයේ මන්දගාමී චර්යාවක් ඔස්සේ සමාජ ගර්හාවට පාත්‍ර වීම
පල්ලේගම හේමරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ යනු වරප්‍රසාද සහිත සමාජ ප්‍රකාශකයෙකි. එනමුත් උන් වහන්සේ, තමන් වෙත එල්ලවී ඇති ලිංගික හිංසාකාරී හා අපරාධමය චෝදනාව හමුවේ නිබයව ඉදිරිපත්ව, මෙරටේ අධිකරණ පද්ධතිය වෙත ප්‍රවේශ වන බවක් නිරීක්‍ෂණය නොවේ. එවන් උජු පටිපන්න බවක් නොරැඳී ආගමික නායකයෙකුගෙන් අප සමාජය උගත යුත්තේ කවර නම් පාඩමක්ද? ධම්ම පදය දක්වන පරිදිම මෙහිදී අප සිහියට නැගෙනුයේ බෞද්ධයාගේ අත්පොත වන් එහි අන්තර්ගත ‘සබ්බේ තසන්ති දණ්ඩස්ස’ යන සිහි කැඳවීමයි. සියලු සත්වයෝ දඬුවමට බිය වන්නා සේම, අප නායක ස්වාමීන් වහන්සේ ද වේලාසනම දඬුවමට බය පක්‍ෂපාතිත්වයක් දක්වන්නේ එකිනෙකා තැනින්තැන මුමුණන බලවත් ලිංගික අපරාධයක් සඳහා උන්වහන්සේ එක්වූ නිසාදැයි අප නොදන්නෙමු. කරුණු එසේනම් තම සිතිවිලි මනාව දමනය කරනොගත් උන්වහන්සේ දඬුවමට ලක්වී යුත්තේය. එපමණක් නොව උන්වහන්සේ එකී ක්‍රියාවට එක්ව ඇතිදැයි යන බලවත් සංශයෙන් මෙරටේ සැදැහැති බෞද්ධයෝ ද ආතුරව සිටින්නෝය. මෙවැනි චෝදනා ලබන බොහෝ ශ්‍රී ලාංකිකයෝ තම සුරක්ෂා ස්ථාන ලෙස පළමුව තෝරා ගන්නේ මෙරටේ අගනගරය කේන්ද්‍රගතව ස්ථාපිත පෞද්ගලික රෝහල් ජාලයයි. තම පාපී හා අපරාධකාරී අතීතයෙන් ගැලවීමට අසීමිත ධනයක් වැයකරමින් පෞද්ගලික රෝහල්බද අඳුරු කාමර තුළ තම සැනසීම සොයන සැකකරුවන් පිළිබඳ වඩා ක්‍රමවත් සුපරික්ෂණයක් අවශ්‍යවඇති බව මෙහිදී යළියලිත් අවධාරණය කල යුතුමය.
මෙම සිදුවීම අභියස වර්තමාන ආණ්ඩුව, විපක්‍ෂ නායකවරයා සහ සමස්ත පාර්ලිමේන්තුව මෙන්ම කාන්තා සමාජ ක්‍රියාකාරීන් ද පූරණය කරනු ලබන නිහඬ වෘතය ඇදහිය නොහැක්කා සේම, බල දේශපාලනයේ වංචාකාරී හා මානව විරෝධී පිළිවෙතද කදිමට නිරාවරණය කරනු ලබන්නේය. වර්තමාන ආණ්ඩුව මෙම සිදුවීම අභියස දක්වන නිහඬ වෘතය මඟින් ගම්‍ය වන්නේ කුමක්ද? තමන් බෞද්ධ විරෝධී දේශපාලන ප්‍රවාහයක් යැයි ප්‍රතිවාදීන් ලබාදුන් හංවඩුව ගලවා දමමින් අප අන් හැමටම වඩා බුදු සසුන කෙරෙහි භක්තිමත් තැනැත්තෝ තමන් යැයි කියන්නට ඔවුහූ සියලු උත්සහ දරන්නෝය. මෙරටේ දේශපාලන ප්‍රවාහයේ සිදුවන අංශුමාත්‍ර චලිතයක් හමුවේ පවා තම සුප්‍රසිද්ධ විපක්‍ෂ නායක කාර්යාලය වෙත මාධ්‍ය කැඳවන විපක්‍ෂ නායකවරයා, හේමරතන නායක ස්වාමිපදයාණන් වහන්සේ වෙත එල්ලවී ඇති චෝදනාව මෙතෙක් දැක නැත්තේය. එපමණක් නොව මෙරටේ දහවන පාර්ලිමේන්තුව හොබවන මන්ත්‍රීවරියන් විසිදෙදෙනා වෙත මෙරටේ ජනයා අනුකම්පා කල යුත්තේය. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් රහිත දේශපාලන වියගස් මත්තේ බැඳුණු මෙම මන්ත්‍රීවරියන් විසි දෙදෙනා, මහජන නියෝජිතයන් ලෙස තමන් සතු අවම ස්වායක්ත බලය භාවිත නොකොට නිහඬව කල්ගත කරන්නේය. ඔවුන් ලිංගික පරපීඩාවකට ගොදුරුව ඇතැයි මුළුමහත් සමාජයක් සංවාදිත මෙකී දියණිය හෝ සොයුරිය පිළිබඳ මුවින් නොබැන සිටීම මෙරටේ කාන්තා දේශපාලනයේ අභාග්‍යතම සංසිද්ධිය ලෙස අප දකින්නෙමු. එමතු නොව, මෙරටේ පළාත් පාලන ආයතන හොබවන කාන්තා නියෝජිතයන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව දෙදහසද ඉක්මවා යන්නේය. ඒ සැවොම මෙම බරපතල ලිංගික ආක්‍රමණය පිළිබඳව පසුවන්නේ සාතිශය අවිඥානමය මානසික මට්ටමකය.
ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධනය මෙන්ම ආරක්‍ෂාව උදෙසා පිහිටුවා ඇති රාජ්‍ය නොවන සංවිධාන ප්‍රමාණය ද අනල්පය. ඔවුන් වෙත නිබඳවම මුල්‍යාධාර ලබාදෙන ආධාර ප්‍රදානක ආයතන වෙසෙසින්ම සිතනු ලබන්නේ එකී ආයතන පද්ධතිය ස්වාධීන හා ප්‍රගාමී චිත්තයකින් පෙරට පැමිණ රටෙහි අනාගත පරපුර රැකගනු ඇතැයි කියාය. එහෙත් මෙවැනි තීරණාත්මක සිද්ධීන් අභියස හොරගල් අහුලන රාජ්‍ය නොවන සංවිධාන ජාලය බල දේශපාලනය හමුවේ ඔද්දල්ව සිටින දේශපාලන අධිකාරියද අභිබවන මට්ටමේ මායාකාරී නිහඬතාවක් සුරකිමින් සිටී. සැබවින්ම එකී ප්‍රතිපදාව ඔවුන් වෙත මුල්‍යාධාර සැපයීම සඳහා වෙහෙසෙන විදෙස්ගත රාජ්‍යයන්හි පුරවැසියන්ගේ සුපසන් මානව ප්‍රේමිත්වයටද නිගාවක් බව කණගාටුවෙන් වුව සඳහන් කල යුතුමය.
තවද මෙම සිද්ධිදාමයට සමාන්තරව පසුගිය 15 වැනි දින (2026-05-15) ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට ඇත්තේය. එමඟින් අවධාරණය කරනු ලබන්නේ වින්දිත දැරිය වෙනුවෙන් නිසි පරිදි ඔවුන් පෙනී සිටින බවත්, එහිලා කිසිදු මහජන කැළඹීමක් අවශ්‍ය නොවන බවත්ය. මෙලෙස මෙකී අධිකාරිය කරුණු දැක්වූයේ වුවද, එකී සිදුවීමට අදාළ පැමිණිල්ල යොමුව ඇති දිනය සහ අද දක්වා මෙම අධිකාරිය කටයුතු කොට ඇත්තේ කවර ආකාරයෙන්දැයි සාවධානව කරුණු විමසිය යුතුය. එවැනි ගැඹුරු නිරීක්‍ෂණයකදී පැහැදිළි වනු ඇත්තේ ළමා ආරක්ෂක අධිකාරිය මෙම සිදුවීමේ බර කරට ගත්තා නොව සමාජ මාධ්‍ය සහ තවත් අතලොස්සක් වන ක්‍රියාකාරීන්ගේ අනවරත තෙරපීම හමුවේ ඔවුන් පෙරට ආ බවයි. එදාමෙදා තුර මෙම අධිකාරිය තමන් සතු සැබෑ බලය අභ්‍යාස කොට තිබුනේ නම් මෙලෙස බලවත් සමාජ ප්‍රභූවරුන් හමුවේ අපගේ දියණිවරුන් , සොහොයුරියන් ලිංගික ගොදුරු නොවනු ඇත. එබැව් අදාළ විෂය භාර අමාත්‍යවරියද වටහා ගත යුත්තේය. නිසැකවම, අපගේ ආදරණිය ජනයා කෙරෙහි ඇය කෘතඥ විය යුතුය. එසේ නොවී මෙවැනි සිදුවීමක් ඉන්දියාව වැනි රටක සිදු වූයේ නම් පරමාධිපත්‍යය බලයේ අසිරිය ඇයද , අදාළ අධිකාරියද ප්‍රත්‍යක්‍ෂ ලෙස අත්දකිනු ඇත්තේය.
අවසන, මෙම වින්දිත දැරියගේ අයිතීන් වෙනුවෙන් නීතීඥයන් පෙනී සිටින්නේද, නැතිද යනුවෙන් වන සුලබ තර්කය කෙරෙහි අප සංවිධානයෙහි ස්ථාවරය ද දැක්විය යුතුමය. නීතීඥයන් ද මෙම සමාජ සංස්ථාවෙහි එක් පාර්ශවයක් පමණක් වන අතර සමස්ත සමාජයක් අගතිදායී ප්‍රපංච කෙරෙහි ආශක්තව ඉන් රෝගී වී ඇති සමාජයක ඔවුන්ගෙන් පමණක් පාරිශුද්ධ නියෝජනයක් අපේක්‍ෂා කිරීම නිරර්ථක හා අතාර්කික උත්සහයකි. එබැවින් පුරවැසි සමාජයේ තත්කාලීන අභියෝගය විය යුත්තේ, පුරවැසි අයිතීන් සුරැකීම උදෙසා මෙරටේ ස්ථාපිත ආයතන පද්ධතිය තවතවත් ස්වාධීන හා බලසම්පන්න කිරීම සඳහා වෙහෙසීමයි. මෙවැනි සිදුවම් අභියස නීති ආධාර කොමිසම වැනි ආයතන වගවීමට එක්කර ගැනීම පුරවැසි සමාජයේ සහ වෙසෙසින්ම මෙම සිදුවීමේ අයුක්තිදායකත්වය කෙරෙහි නොමනාපව ක්‍රියාකාරී වන සමාජ සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ වගකීම විය යුතුය. ඕනෑම සමාජයක් විනිශ්චයට බඳුන් වන්නේ එකී සමාජය ළමුන් කෙරෙහි දක්වන දයාර්ද්‍ර වූ සෙනෙහස මත්තේ බව අපි යළියළිත් අවධාරණය කරන්නෙමු.
විධායක අධ්‍යක්‍ෂ
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (IRES)











